කතාවට කලින්, මේ කතාවට දායකත්වය සපයන නළු නිළි පිරිස ගැන හැදින්වීමක් කරලා ඉන්නම් කෝ. මේකෙදී සල්ලිකාරයාගේ චරිතය රඟපාන්නේ, ඒ කියන්නේ ණය දෙන්න හදන්නේ මම. ඔව් බොලව්, ආගන්තුකයා තමයි. ණය ඉල්ලන්න එන්නේ මගේ යාලුවෙක්. අපි ඌට කියමු "තඩි මල්ලි" කියලා. මම ඒ නම දැම්මේ, මිනිහ ටිකක් හොදට කන බොන නිසා පීප්පයක් වගේ ඇඟකට උරුමකම් කියපු නිසාමයි. ඔච්චරයි ඉතින් මේ කතාවේ ප්රධාන නළු නිළි (නිළියො නම් නැහැ තමයි) පිරිස. එහෙනම් ඔන්න කතාව.
ඔන්න මම පහුගිය සතියේ දවසක කාර්යාලයේ ඉන්නකොට, උදේ 10ට විතර කෝල් එකක් ආවා. බැලුවම තඩි මල්ලියා. මාත් බැලුවා මේ මොකෝ මූට ගොඩක් කාලෙකට පස්සේ මාව මතක් වෙලා තියෙන්නේ කියලා. ඉතින් කෝකටත් ලොකු කතාවකට ලෑස්ති වෙලා මාත් කෝල් එක ආන්සර් කළා.
"හෙලෝ තඩි මල්ලි, ඉතින් ඉතින් මොකෝ අපිව එක පාරටම මතක් උනේ? කොහෙද උඹ ඉන්නේ? ඔෆිස් එකේද ? කෝ උඹේ ගෑණි?" මම ඉතින් පුරුදු පරිදි මගේ ප්රශ්න වැල ඉදිරිපත් කළා . (ඔතන ගෑණි කිව්වට ඕකා තාම තනිකඩයා. ඔය ගෑණි කියන කෙනා ගැනත් රසබර කතා ගොඩක් තියෙනවා. ඒවා පස්සට. පස්සට කිව්වේ 'වෙන කතාවකින් කියන්නම්' කියන එක.)
"මචන් ආගා, මම මේ පොඩ්ඩක් එලියට ආවා බන්. පොඩි හදිස්සියක්. එකයි මම උඹට කෝල් කලේ."
"යකෝ හදිස්සියක් උනාමද තොපිට අපිව මතක් වෙන්නේ? හදිස්සියක් නම් 119 කෝල් කරපන් කෝ. මේ අපිට කරදර කරන්නේ." ඔය ටික මට කියන්න හිතුනත් මම ඉතින් යාලු ෆිට් ඒකට කිව්වේ නැහැ.
"මොකෝ සීන් එක. මොකෝ ගෑණිට බබෙක් හම්බ වෙන්නද ? මම තොට කිව්වා, කරන මගුලක් පරිස්සමින් කියලා. ඔන්න අපිව ඕවට අල්ලගන්න එපා. මම නම් අහිංසකයි." ඔය ටික තමයි මම ඇත්තටම කිව්වේ.
"උඹ මේ රෙද්දක් කියනවා. මට පොඩි සල්ලි හදිස්සියක්. කස්ටමර් කෙනෙක්ගේ සල්ලි වගයක් දාන්න තියෙනවා බැංකුවට. සල්ලි තියෙනවා ගෙදර. ඒත් ඒ සල්ලි ටික බැංකුවට යවලා ඩිපොසිට් කරන්න විදිහක් නැහැ මචෝ."
"හරි, දැන් කියපන් බලන්න කීයක් විතර ඕනද කියලා?" කෝකටත් මම අහල බැලුවා. ඇත්තම කිව්වොත් මගේ බැංකු ගිණුමේ ඒ වෙලාවේ තිබ්බේ රුපියල් 8000ක්. විතරයි.
ආ මට තව කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි තඩි මල්ලියා කතා කරන්නේ ටිකක් අමුතු විදිහට. ඒ කියන්නේ ටිකක් සීරියස් විදිහට. ඉතින් ෆෝන් එකේ කතා කරන සමහර ඒවා මෙහා පැත්තේ ඉන්න එකාට හරියට ඇහෙන්නේ නැහැ. - හරි බැක් ටු ද කතාව -
"මට මචන් දෙ දාහක් විතර ගන්න පුළුවන් ද ? මම අනිවා ලබන සඳුදා උඹ ගමේ ආවම දෙන්නම්" ඔන්න ඔහොමයි මට ඇහුනේ.
"හරි, ඒ ගානනම් ගන්න පුළුවන්, කොහොමද දැන් උඹට ඕක දෙන්නේ ? මම දැන්නම් ඔෆිස් එකේ ඉන්නේ."
"මම Account නම්බර් එක උඹට ටෙක්ස්ට් එකක් දාන්නම්. උඹ මගේ Account ඒකට දාපන්."
යකෝ, මම මූට සල්ලි දෙනවා මදිවට බැංකුවට ගාටලා සල්ලි දාන්නත් ඕන. "මේ, උඹ රෙද්දක් කියවන්න එපා. මේ පැත්ත පළාතක බැංකුවක් නැහැ. මට උඹේ Account ඒකට දාන්න විදිහක් නැහැ. උඹ ආවොත්නම් මෙතනින් අරන් දෙන්න පුළුවන්."
"අයියෝ.... එහෙමද ? හරි මම කාව හරි එව්වොත් උඹට දෙන්න පුළුවන් ද ? මම දැන් ඉන්නේ බලන්ගොඩ. උඹේ ඔෆිස් එක තියෙන්නේ කොහෙද? උඹ කීය වෙනකන් ඉන්නවද ?"
"මම දැන් ඉන්නේ කොම්පඤඤ වීදියේ. මම කොහොමත් 6 විතර වෙනකන් මෙතන ඉන්නවා. ඊට පස්සේ බම්බා හන්දියේ තමයි." මෙතන බම්බා හන්දිය කිව්වේ බම්බලපිටිය හන්දිය කියන එක....
"හරි, හිටපන් එහෙනම්. මම එන්නම් දැන් පිටත් වෙලා. කොහොමත් තව පැයකින් විතර මට ඔතනට එන්න පුළුවන් වෙයි."
ඔන්න ඉතින් මාත් මගේ වැඩක් එහෙම කරගෙන හිටියා මූ එනකන්. කෝකටත් කියල ATM ඒකට ගිහින් මූ මගෙන් ඉල්ලපු රුපියල් 2000 අරගෙන මගේ පර්ස් එකේ දාගත්තා. ඒ අතරේදී මට නිකමට වගේ හිතුනා "මූ ලොකු කරදරේක වැටිලා තමයි. යකෝ රුපියල් දෙදාහක් ගන්න මූ බලපිටියේ ඉදල මෙහෙ එනවා නේ..."
කොහොම හරි ලන්ච් වෙලාව ආපු නිසා අපි සෙට් එක කැන්ටීන් එක පැත්තට ගියා. කාලා ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දී මට කෝල් එකක් ආව තඩි මල්ලිගෙන්. "මචන් මම දැන් පැටා ඇවිත් ඉන්නේ. හිටපන් මම දැන් මෙතනින් වීල් එකක නැගල එන්නම්. කොහොමත් තව විනාඩි 25කින් විතර මට එන්න පුළුවන් වෙයි."
"හරි වරෙන්, මම කොහෙවත් යන්නේ නැහැ. මම කෝකටත් එලියට වෙලා ඉන්නම්."
ටික වෙලාවකින් මූ වීල් එකෙන් බැහැලා ඔෆිස් එක පැත්තට ආවා. මාත් ඉතින් ගිහින් මූව මීට් උනා. "උඹට කීයක්ද ඕන කිව්වේ ?" කෝකටත් ගැන හරියට අහගන්න ඕන නිසා මම නිකමට මුගෙන් ඇහුවා.
"තිස්දාහක්ම තියෙනවද ? නැත්නම් විසිදාහක් උනත් අවුලක් නැහැ. අනික මට තව කොහෙන් හරි හොයාගන්න පුළුවන්""මොකා ? තිස්දාහක් ? තෝ කිව්වේ දෙ දාහක් කියලා ?" ඒ වෙලාවේ මට තේරුණා කෙලියා තමයි කියලා. තඩි මල්ලිගේ මූණ මලානික වෙලා ගියා... මට තාම මතකයි උගේ මූණ හුලන් ගිය බැලුමක් වගේ උන හැටි...
"යකෝ රුපියල් දෙ දාහක් ගන්න බලන්ගොඩ ඉඳලා එන්න මම මොකෙක් කියල හිතුවද උඹ?? "
"බලන්ගොඩ තියෙන්නේ කොහෙද බාන් ???" එකනම් මම ඇත්තටමයි ඇහුවේ. මම කලින් හිතන් හිටියේ මූ මේ එන්නේ බලපිටියේ ඉදන් කියලා. බලපිටිය ඉතින් කොහොමත් කොළඹට ටිකක් කිට්ටුයි නේ....
"බලන්ගොඩ තියෙන්නේ රත්නපුරේටත් එහා. මම පැයක් බස් එකේ කට්ට කාලා ආවේ උඹෙන් දෙදාහක් අරන් යන්න නෙවෙයි බන්. මට තිස්දාහක් ඕන වෙලා තිබ්බේ... අවුලක් නැහැ. මට දැන් ආයිත් බලන්ගොඩ යන්න බැහැ. මම ගෙදර යනවා... කස්ටමර්ට කෝල් එකක් දාල ඕන මගුලක් කරගන්න කියනවා" මේ වෙලාවෙ නම් මට තේරුනා කොල්ල ෆුල් අවුලෙන් තමයි කියලා....
ඒත් ඉතින් මොනවා කරන්නද? මට ඇහුනේ දෙදාහ වගේ... ඉතින් මාත් පොර වගේ කිව්වා වරෙන් කියලා... මූත් ඉතින් ෆුල් හැපී එකේ බලන්ගොඩ ඉඳලා කොම්පඤඤ වීදියට ආවා ඔය දෙදාහ අරන් යන්න....
ඔන්න ඔහොමයි ආගන්තුකයා තඩි මල්ලිට ණය දුන්නේ......
ප.ලි: දැන් ටිකකට කලින් තමයි නිකමට වගේ ගූගල් මැප් එකේ බැලුවේ. බලන් ගියාම බලන්ගොඩ ඉඳලා කොම්පඤඤ වීදියට කිලෝ මීටර් 135ක් විතර තියෙනෙව ලු..... එකත් මාරයි නේ ?
අපෝ ආගා හලීම නරකායි :D
ReplyDeleteඉතින් ඉල්ලපු ගාන මම දෙන්න හැදුවනේ ???? මොකක්ද එකේ ඇති නරකේ ආ ???
Deleteපව් බන් අරු
ReplyDeleteඉතින් බන් ඌ ඉල්ලුවේ දෙදාහයි නේ ? මම දෙන්නම් කිව්වා :(
Deleteපස්සේ එක පැටව් ගහලා තිස්දාහක් ලු...... මටත් මාර අවුල් බන් :( මොනවා කරනනද ??